Thursday, July 19, 2018

මී පැටව් හතරදෙනා


මොකද්ද මේ අපි වැටුන ලෝකෙ කියල උනුත් නොදන්න...අපිත් නොදන්න!


මේක මගේ පොඩිකාලෙ අත්දැකීමක්..
මට මතක තරමින් වයස අවුරුදු අටක් වගේ ඇති.ලොකු තේරුමක් තියෙන කාලයක් නෙමෙයි.අතින් මගෙ මතක විදිහට මට අපේ ගෙදර මුල්ලකින් හම්බවුනා චූටි මී පැටව් හතරක්.ඇත්තටම ඇඟේ බූල් ගහක්වත් නෑ.ඇස් ඇරලත් නෑ.ඇඟ රෝස පාටයි.ඉතින් මට අප්පිරියාවක් දනුනෙ නෑ.මං කරපු දේ එයාලව අතට අරන් අතගාපු එක.ඊට පස්සෙ ඒ අසරණයො හතර දෙනාට සිද්ධ උනා මං ලඟ තිබ්බ පොඩි වීදුරුවකට වෙලා ඉන්න.ඔය ඉතින් මං උදේට බොන කිරි එකෙන්ම එයාලටත් පොවන්න.ඉස්කෝලෙ ඇරිල ආව ගමන් දුවල ඇවිත් එයාලව බලන්න..අපරාදෙ කියන්න බෑ මං නිසා ඒ අසරණයො හතර දෙනාට සිද්ධ වුනා බේසමක නාන්නත්.මං දන්න එකම දේ මම අප්‍රසන්න කියල වචනයක් වත් නොදැන ඒ මී පැටව් හතර දෙනාට ආදරේ කරපු බව..
ඉතින් අපේ අම්ම ඕක දැකල පරල වෙලා මට නියෝග කලා එයාලව හිටපු තැනටම දාන්න.මං ඉතින් අඬල කරල එයාලව යැව්ව ගුලකින් ඇතුලට.එයාලත් බඩගාගෙන ගියා.මට මතක විදිහට මට අතඇරෙන දේ ගැන දැනුන පළවෙනි වේදනාව ඒක.
ඉතින් මං කියන්න හැදුවෙ අපි අවුරුදු ගණන් ගෙවල ලොකු වයසකට එද්දි අපිව හතරැස් රාමුවකට කොටු වෙනව.එක්කො කොටු කරනව.ගෙදර වටපිටාවෙන් ගෙදරින් එපිට සමාජයෙන්.මම දන්න තරමින් මම ඇර මී පැටවුන්ව හිරිකිතයක් නැතුව අතට ගන්න මම දන්න කවුරුත් නෑ.මී පැටව් තියා මීයෙක් දැක්කත් මූණ අකුල ගන්නව මිසක්.ඒත් මමත් අද වෙද්දි ආයෙ ඒ සිදුවීමට මූණ දුන්නොත් පොඩ්ඩක් හෙලවෙයි බයට.
අපි නොතේරෙන වයසෙදි අපේ හිත් විවෘතයි.වැටවල් බැඳල කොටු කරන් නෑ.ඉතින් මිනිස්සුන්ට මී පැටව් අප්‍රසන්න යි කියල මම දන්නෙ නෑ.ඉතින් මම උන්ට ආදරේ කලා.ලොකු වෙද්දි මිනිස්සු අපේ ඔලුවට දානව අපෝ උන් ජරාවනෙ කියල.ඒක මිනිස්සු හදාගත්ත දෙයක්.මේ සිදුවීමම වෙනස් විදිහවල් වලින් මේ සමාජෙ වෙනව.
මං උදාහරණයක් කියන්නම්..
අල්ලපු ගෙදර ඉන්නෙ දෙමළ ළමය මුස්ලිම් ළමය කියල වර්ග නොකර අපි උන් එක්ක සෙල්ලම් කරනව.බත් එක එකතු වෙලා කනව.ගස්වල නැගල අඹ කඩන් කනව.එක්ම අඹේ පලාගෙන බෙදාගෙන කනව.අපි දන්න එකම දේ ලෙංගතුකම..සහෝදරකම..ඉතින් අපි වැඩිහිටියො වෙද්දි මේ සමාජයම අපේ ඒ ලෙංගතුකම හතරැස් කරනව.මූ දෙමළ..මූ මුස්ලිම් කියල රාමු වලට කොටු කරනව..ඉතින් පොඩි කාලෙ වැට කඩොලු නැති අපේ හිත් ඒ දෙමළ මුස්ලිම් යාලුව මැද්දෙන් ඉබේම බැඳෙනව..ඉතින් මේක හරිද ?
පොඩ්ඩක් නැවතිලා හිතල බලන්න.ඔයාලත් පොඩි කාලෙ ආදරේ කල දේවල් වලට ලොකු වෙද්දි "එපා"කියන බෝතලේට දාගෙන තියෙනවද කියල..විනාඩියක් හිතන්න ඇයි එහෙම වුනේ කවුද ඒක කලේ කියල..
හරියට මං ආදරේ කරපු මී පැටව් වගේ.එයාල දැනන් හිටියෙ නෑ එයාල මේ කාගෙ අතේද ඉන්නෙ කියල.එයාල හපා කන්න ඕනෙ කාවද කියල.එයාල මං ලඟම ලොකු උනා නම් මටත් ආදරේ කරයි.වෙනම හැදුන නම් මාව හපාකයි.ගෙදර ඇඳුමෙ ඉඳන් ඔක්කොම කීතු වෙන්න කාල දායි...අනෙක් අතට අපි වගේ..අපි දන්නෙ නෑ අපි ඉපදුණ පොළොව මොන වගේද කියල.අපි ආදරේ කරන දේවල් අපි පොඩි කාලෙ වර්ග කරගෙන නෑ.ලැයිමෙ මනුස්සය දෙමළ මනුස්සය ,බේබද්ද,කුඩුකාරය කියල නොදැන අපි මිනිස්සුත් එක්ක හිනාවුනා.ලෙංගතු උනා.අපි ලොකු වෙද්දි එයාලව වෙන වෙන බෝතල් වලට දාල ඈත් කලා.ඒක අප්‍රසන්න කියන මූඩියෙන් වහල දැම්ම.
අපිට තේරෙන කාලයක් ආවම අපිට නොදැනී මේ උන කොටුවීම නොතේරෙන්න තරම් අපි අසංවේදී වෙනව..ඇත්තටම ඒක හරිම අධමයි.
මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕනි ස්වාධීනව හිතන්න...අම්ම තාත්තගෙ සහ සමාජයේ සිතුවිළි වල පරපෝෂිතයෙක් නොවී...!
මං හරිද..?
ඒ තමා මගේ මී පැටව් හතරදෙනා මට කියල දීල ගිය පාඩම...උන්ට මං අදටත් ආදරෙයි..!


                                                         

අමතක නොවන මතක

මකනකොට සමහර මතක
නොමැකෙනව ඇති..
ඉතිං තදින්ම, මකන්න ගිහින්
හිතම හූරගන්නව ඇති...

අකමැතිම වැස්ස වහිනකොට
නොතෙමී බේරෙන්න දුවනවා ඇති..
අපේ හදවත් තෙමුණ හැටියට,
මේක මොකද්දැ'යි නුඹ තෙමෙනවා ඇති...

ලියපු කවි පිටු ගණන් මේසෙ උඩ
සීතලට ගැහෙනවා ඇති..
ඒත් ඒ ගැන වගක් නැතිවම,තවම
මගෙ කවියෙ අඩු වචනල නුඹ හොයනවා ඇති...

යනෙන කොට මග දිගට සමහර තැන්,
උවමනාවෙන් බලනවා ඇති..
බලපොරොත්තුව නැති උනත්,
ඒ හැමතැනකම මං ඇති...

වෙනද වාගෙම ආසම කෝපි එක,
නොබී සීතල වෙන හැටි...
හිතම කොඳුරන මගෙ රහස් ඔක්කොම,
වැස්ස නුඹ හොරෙන් අහන් ඉන්න ඇති...

නොකිව්වත් මිනිසුන් හිඳී තාමත්
පාට කරන්න හීන නැතී...
ජීවිතේ හිස් තැනක් ,
මැරෙනකන් පුරවන්න බැරී....


රහස්

වැස්ස රස විඳින්නෙම,
සීතලට සිරවූ සුසුමක්...

රැවුල්ගස් හදන්නෙම,
රිද්දන්න තෙත් වූ දෙතොලක්...

ගැහැණියක් හොයන්නෙම,
රෝම පිරුණු පපුවක්...

හැම හදවතකම ඇති,
       කතා නොකරන සිදුරක් ....


අහස යට....

වැහිබරම අහස යට
නොසොයාම මතක
ඉරුණු තැන් හදවතේ
අමතකම කරන

උණුසුම්ම හාදුවක්
සීරුවෙන් ගෙවෙන
කාලය නොනවතින
සීතලම මොහොත

නුඹේ ඔය උණුසුමෙන්
සීරුණු සුසුම
සඟවන්න අහස
පසුව මට ගන්න 


ගැහැණු හදවතක්......

වැසෙන්නට උවමනා නැති 
හිතේ කවුළුවක්..
අසල,
බඳ වටා එතෙන උණුසුම් 
දෑතක්....

සෙනෙහසම පමණක්
හුස්මක දුරක්
එකට යා වුන ඇහි බැමක්
උත්සහයක්..,
නොදමන්න නැවතත්
අගුළු ලෑමක්....

පිරිමියෙක්ට නොගැලපෙන
අහිංසක හිනාවක්
එක්ක...,
වල ගැහෙන කම්මුලක්
නවත්තන හැටි
ගැහැණු හදවතක්......


Wednesday, July 18, 2018

චෙලෝව සමඟ වැළපෙන්න...!




සබඳ,
කුමක්ද ඒ 
නුඹ වයන තත් අතර
ගැඹුරින් ඇසෙමින් නොඇසෙන
සිහින් අදෝනාව..?

හදවත ස්පර්ශ කරන..
මා මෙතැන නොපවතින
බව
නොකියා කියන
හදවත මැද තබන
නොපැහැදිලි
හාදුව..?

සොඳුර නුඹ
තරමට
හදවත මෘදු කරන,
තෙත්ම තැන්
පිරික්සා කිණිසි පහරවල්
තබන ඒ
වැයෙන රිදුම...?

කවුලුව එපිටින්
හාත්පස කඳුකරය වැළඳගෙන
පතිත වෙන මෝසම,
තවටත් ඉකිගසමින්
ලියන ප්‍රේමයද
විලෝ ගස...?

ඝනැති මීදුමක් අතර
හුදකලාවක,
නිතර රිදුමෙන් පත් හලන..
ප්‍රේමයේ ඉසව්වක් හෝ
නොදුටු තැන,
හදවත සුසර කල
හැකි ලෙස
වියැළෙන...,

චෙලෝවද ඒ
විලෝ ගසක
වියැළුනු හදවත....,

එයද මෙතරම්
මිහිරිව වැයෙමින්
හදවත බැඳ තබා
දවා අළු කරන
විලෝ ගසක ප්‍රේමය....!


Tuesday, July 17, 2018

උඹල අපි ජීවත් වෙන්නෙ මේ අපායෙමයි..,වෙනස් නොවුනොත් උඹත් මමත් සත්තයි...!



නොගැළපෙන මිනිස්සු සිවුර දරාගෙන,පිරිසිදු බුදුදහම දැනටමත් විනාශ කරල ඉවරයි..,
අමුතුවෙන් හදන්න බැරි තරමට ජරා ගොඩක් කරල ඉවරයි...,
උන්ටම හරියන උපාසකයො ටිකක් වටේට තියාගෙන ,බුදුදහම රැකගන්න කැති පොලු මුගුරු අතට ගන්න එක ,වෛරයෙන් ඇවිළෙන එක පුදුමයි...,
සිවුර දාගෙන, දේශපාලුවන්ගෙ මඩ හෝදන එක,උන්ට වැදගෙන කඩෙ යන උඹල දකිද්දි තිත්තයි...,
දාගැබක්,බෝ ගහක්,පිළිමයක් තිබ්බ පලියට පංසලක් ඇත්තටම ධර්මිශ්ට වෙනවද කියල නිකමටවත් නොහිතන උඹල ගැන ලැජ්ජයි..,
පංසලේ ,පල්ලියේ , කෝවිලේ පූජකයන්ට ඕනේ නෑ උඹලගෙ ඔලුගෙඩි හදන්න,උඹලව යහපත් කරන්න,උඹලට මනුස්සකම කියල දෙන්න, උන්ට ඕනෙ සල්ලි විතරයි..
ගහක් කොළක් ගැන,තිරිසන් සතෙක් ගැන සංවේදී නැති තැනටම පත් උන උඹල, උඹල වගේම ලේ ඇට මස් නහර තියෙන තවත් මිනිහෙක් ගැන සංවේදී නොවෙන එක
පුදුම නෑ සත්තයි...,
අනිත් එකාට හෙන ගැහිල හරි තමන්ගෙ වැඩේ වෙනවට කැමති උඹල ,ඒ වෙනුවෙන් බෝ ගහේ බාර දාහක් හරි ගිහින් එල්ලයි...
සිංහලද, දෙමළද , මුස්ලිම්ද කියල මරාගන්නෙ ඇයි ., උඹල අපේ නහරවල දුවන්නෙ
රතුපාට ලේ මයි..
මහින්ද ද,රනිල් ද, මෛතීද , පැත්තක් අරන් මරාගන්නෙ ඇයි.., උඹලගෙ උදව්වට එන්නෙ උන් නෙමෙයි ,උඹල දේශපාලුවො වෙනුවෙන් ඇණකොටා ගත්ත අල්ලපු වැටේ උන්මයි...
මේ හැමදේම උඹල ඔලුවට දාගන්නකන් ,උඹල අපි හැදෙනකන් ,කෙළ වෙන්නෙ විඳවන්නෙ අපිම යි..
ආස නැද්ද උඹලට මනුස්ස සුවඳ එන රටකට,මනුස්සකම දැනෙන සමාජෙක ට..,සාතාට ගහකොළට මිනිස්සුන්ට ආදරේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න ,හිතුවොත් උඹට වෙනස් වෙන්න යන්නෙ තත්පර විස්සයි....
ආගමත් , ජාතියත් ඔලුවෙ උඩ, වැඩියෙන් බර දීල තියන් ඉන්න උඹලට , කවද හරි ඉතුරු වෙන්නෙ මලමිණී එක්ක ලේ රහ විතරයි
විනාඩි කීපයක් අරන් හිතපන්.. මේ කියන්නෙ ඇත්තමයි.
උඹල අපි ජීවත් වෙන්නෙ මේ අපායෙමයි..වෙනස් නොවුනොත් උඹත් මමත් සත්තයි...!!!


-----------------------============------------------ - - 


සමහර ඉරිදාවල් වෙහෙසයි

ආදරණීය රිසානා,
සමහර ඉරිදාවල් වෙහෙසයි
පහන් කණු වලටත් 
තෙහෙට්ටුයි,
හැමදාම එළිය දීලත්
ලැබෙන්නෙ දූවිල්ල විතරයි..
කවුලුවකින් එකම පාරක් දිහා
හැමදාම බලන්න වෙන එක
කටුකයි.,
ඉරිදට විතරක් සන්සුන් වෙන
කොලඹ පාර පාළුයි..
ඒ නිදහස් බව ඔයාගෙ විතරයි,
එහෙම හිතන්න ඔයා වගෙම
පහන් කණුත් ආසයි...
හුස්මත් අපහසුවෙන් ගන්න
මහල් ජීවිත වෙහෙසයි,
ෆර්දාවකින් වහන්න බැරි
හිතත් එහෙමමයි....!!


ඒ කවිය නොගයන්න



රොබරෝසියන් නැවත නුඹ 
කඳුළු නොසලන්න,
දම්පැහැය ඇතී හැඬූ බව දැනගන්න..

රතු අරලිය ආයෙ නොකියන්න
සුළඟ තව ළංවෙන්න,
නුඹට වෙයි පා වෙවී මියයන්න..

නෙළුම් පත නුඹට බැහැ 
නොරැඳෙන පින්න සිපගන්න,
ඉතින් තව නොහඬන්න...

කිරිල්ලිය හිත රිදෙන
ඒ කවිය නොගයන්න,
      සැනසිලා මට ඉන්න...!!!!!    


                   

ඩෙනිමට යටින් කොළ අතු හැදගත් වනචාරීන්...

ඩෙනිමට යටින් කොළ අතු හැදගත් වනචාරීන් සිටින තාක්.....,
ආදරණීය අසීෆා..නුඹේ රටේ අපේ රටේ මෙන්ම මේ මුළු ලෝකයේද, ගැහැණුන්ගේ ජීවිත කිසිවිටක රෝසපැහැ ගත් මල් යුගයක නැත..
----------------------------------------------------------------------------

අසීෆාව සමූහ දූශණයට ලක්වී ඇය මෙලොවින් සමුගෙන අවසන් ය.ඇගේ නම දවස් කීපයක සිට සියලු දෙනාගේම මාතෘකාව වී අවසන් ය.මේ උණුසුම තව කිහිප දවසක් ඇගේ රටේ මෙන්ම අපේ රටේද තිබෙනු ඇත.ඇය නිසා ලේ උණු වූ මනුෂය වර්ගයා ඇගේ නමින් කවි ගී ලියනු ඇත.ශෝක ප්‍රකාශ ඇගේ ඡායාරූප වල කොටා සමාජ ජාල වල දැනටත් පල කර අවසන් ය.සැබැවින්ම ඇය මිය නොගියා නම්...???ඇය ගැන මෙතරම්ම සානුකම්පිතව මිනිසුන් කතා කරාවිද ?
අපේ රටේ විද්යා ව, සේයා ව දැනටත් අපේ සමාජයට අමතක වී ඇති බව නොඅනුමානය.ඔවුන් දෙදෙනාම මරණයෙන් වන්දි ගෙවු නිසාම ඔවුන් දෙදෙනා පිළිබඳව ඔවුන් වෙනුවෙන් ශෝකී,සංවේදී දෑ ලියවුනත් කතාබහ වුනත් ඒ සියල්ල දවස් කීපයකට පමණි.සමාජයේ මෙන්ම නීතියේ ද දශමයක වෙනසක් හෝ සිදුවී නැත.විද්යා සේයා පමණක් නොව, අසහනකාරී පිරිමින් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ ගැහැනු ජීවිත ගණන් කල නොහැක.ඒ කිසිම මරණයකින් මේ සමාජය කිසිදු පාඩමක් අදටත් ඉගෙනගෙන නැත.විද්යා සේයා දූශණයට ලක් වී අද ජීවතුන් අතර සිටියා නම් පහුවදාම සියදිවි නසාගෙන ය.මන්ද කායිකව දූශනයට ලක් වූ ඔවුන් දෙදෙනාම මේ සමාජයෙන් වාචිකව ද දූශනයට ලක් වන නිසා ය.ඔවුන් දෙදෙනා මරණයෙන් අවසන් වූ නිසා ඔවුන් වෙනුවෙන් සංවේදී වූයේ, HIV ආසාදිත මවකගේ දියණියව පාසලට ඇතුල් කලහොත් තමාගේ දරුවාව පාසලට නොඑවන බව පැවසූ මේ සමාජයම ය.
ගැහැණියකගේ ජීවිතය මරණයකින් කෙළවර වුවහොත් ඇය විඳි අනේක දුක්පීඩා සමාජගත වී ඇය පිළිබඳ දැනගත්තා වුවත් ඇය වෙනුවෙන් සංවේදී වුවත්, ඔබ මා ගෙවන මේ මොහොතේ දීත් කායිකව වාචිකව හිංසනයට ලක් වෙන ගැහැණුන් පිළිබඳ දන්නේ කවුද ?ඔවුන්ගේ වේදනාවට පීඩාවට වගකියන්නේ කවුද..
බස් රථයේ ඇයට හේත්තු වන පිරිමින්,ගැහැණියකගේ කකුලක්,ඇය අදින බ්ලවුසයේ බොත්තමක් ලිහිල් වුන විවරයක් දුටු පමණ තම අංගජාතය සෘජු වන පිරිමින් සිටින තාක් ගැහැණිය මේ සමාජයේ සුරක්ෂිත ද...?
නැත.දෙදහස් පන්සිය වසරක ඉතිහාසය ගැන නලළෙ තබා කතා කලත් මේ සමාජයේ බොහෝ පිරිමින් තවමත් ඩෙනිමට යටින් කොළඅතු ඇඳගත් වනචාරීන් ය.නොයෙකුත් කොණ්ඩා රැවුල් විලාසිතා වලට යටින් ඇත්තේ කැලෑ ගතිය...
කොටින්ම මේ "හොඳ ලෙස හැදීමට-හොඳ සිත් ඕනෑ හැමවිට,නරක සිත් ඇති විට-නරකමයි සිදුවන්නේ අපහට" යැයි සිරිත් මල්දමේ ඉගෙන ගත් පරම්පරාව ය...
මේ සමාජයේ තම තමා ස්වයං විනයක් ඇති නොකරගන්නා තාක්කල් ඉදිරියටත් තව බොහෝ විද්යලා සේය ලා අසීෆලා වේදනාවෙන් මිරිකුණු මරණවලින් වන්දි ගෙවනු ඇත.



--------නිහඬ ගුරුවරයා------------


                                ජීවිතය ගෙවෙමින් යන අතරමග අපි බොහෝ තැන් වල සිතින් නවතින්නෙමු.හුරුපුරුදු තැන් වල සිතින් මදක් රැදෙන්නෙමු.සේපාලිකා ගසක් අසලින් ගමන් කරන්නට අවස්ථාවක් ලැබුනහොත් මමද ඒ අසල සිතින් පමනක් නොව ගතින්ද නවතින්නෙමි.ඒ සුවඳ ඒ හෙවණ මගේ ජීවිතයේ මා වඩාත් ආදරය කරන පුද්ගලයා සමග බැඳී ඇති නිසාවෙනි.

ගසක් මුලින් නොසිඳ,මලක් ගසෙන් වෙන් නොකර ගහ කොළ වැලට ආදරය කරන්නට ඉගැන්වූයේ ඔහු ය..
සතුන්ට ආදරේ පමණක්ම දෙන්නට ඉගැන්වූයේ ඔහුය..
භෞතික දෙයට වඩා අධ්‍යාත්මික දේ වටිනාකමෙන් වැඩි බව ඉගැන්වූයේ ඔහුය..
සියල්ල නිහඬව ශක්තිමත්ව දරා ගැනීමට ඉගැන්වූයේ ඔහුය..
විශාල නිවසකට වඩා විශාල හදවතක් ඇත්තාට ඕනෑම තැනක සතුටින් විසිය හැකි බව ඉගැන්වූයේ ඔහුය.
මනුස්සකමෙන් හදවත පුරවන්නට ඉගැන්වූයේ ඔහුය...ඒ කිසිම වචනයකින් නොව නිහඬව ය.එ සියල්ල ලේ නහර වලට කාවැද්දුවේ නිහඬවය..
ඒ මා බොහෝ ආදරය කරන මගේ තාත්තා ය.
ජීවිතය දෙස ආපසු හැරී බලන්නට මා කිසි දිනක නවතින්නේ නැත.මා හැර ගිය අයවලුන් හට යන්නට දී මා සමග අඩියක් හෝ ඉදිරියට යන අයවලුන් ද මා සමග මොහොතක් වචනයකින් හෝ ගෙවා දමන්නට කැමති මිනිසුන් සමග මම ඉදිරියට යන්නෙමි.
හැරී බලන එකම හේතුව ඔහුය.
ඒ ඔහු මා සමග වර්තමානයේ නැති නිසාය.
ජීවිතයේ ගෙවෙන සෑම දිනකම මම ජීවිතයේ ආපස්සට ගොස් නැවත එමි.ඒ ඔහු නිසාවෙනි.
මා හට පවසන්නට නොහැකිව මග හැරුනු වචනයක් ඔහුට කියන්නට අවැසි නිසාවෙනි.එය මට ඔහුව තදින් වැළඳගෙන කියන්නට අවැසිය.
ඒ මා ඔහුට බොහෝ ආදරය කරන බවය..
මගේ නිහඬ ගුරුවරයා අවසානයේදී ඔහුට නිහඬවම ආදරය කරන්නටත් අවසානයේ මා හට උගන්වා ගියේය..
"ආදරෙයි නම් වැළඳගෙන පවසන්න..ඒ මොහොත මඟහැරුනු විට නැවත පැමිනෙන්නේ නැත.කාලය ඉතා කෙටිය."


සොඳුර



නුඹ මාව නිවන
පපුවෙ හරි මැදම...


ඇති මගෙ සුසුම
අළුවෙමින් දැවෙන..

මතක අත්හැරුණ
කලුවරම තැනක..

සොඳුර, මේ හිඩැස
නිමාවක් නොවෙන..












අංශුමාත්‍ර

කවුළුවෙන් එපිට පිට නොපෙනන තරම් වැස්ස ය.ඒ ශබ්දය,අඳුර එකතු වී කැඩී බිඳී ගිය මා එකතුකර අලවමින් සිටිනවා වැනි හැඟීමකි.ඇතැම් විට ඒ මා වර්ෂාව ට ...