Tuesday, July 17, 2018

ඩෙනිමට යටින් කොළ අතු හැදගත් වනචාරීන්...

ඩෙනිමට යටින් කොළ අතු හැදගත් වනචාරීන් සිටින තාක්.....,
ආදරණීය අසීෆා..නුඹේ රටේ අපේ රටේ මෙන්ම මේ මුළු ලෝකයේද, ගැහැණුන්ගේ ජීවිත කිසිවිටක රෝසපැහැ ගත් මල් යුගයක නැත..
----------------------------------------------------------------------------

අසීෆාව සමූහ දූශණයට ලක්වී ඇය මෙලොවින් සමුගෙන අවසන් ය.ඇගේ නම දවස් කීපයක සිට සියලු දෙනාගේම මාතෘකාව වී අවසන් ය.මේ උණුසුම තව කිහිප දවසක් ඇගේ රටේ මෙන්ම අපේ රටේද තිබෙනු ඇත.ඇය නිසා ලේ උණු වූ මනුෂය වර්ගයා ඇගේ නමින් කවි ගී ලියනු ඇත.ශෝක ප්‍රකාශ ඇගේ ඡායාරූප වල කොටා සමාජ ජාල වල දැනටත් පල කර අවසන් ය.සැබැවින්ම ඇය මිය නොගියා නම්...???ඇය ගැන මෙතරම්ම සානුකම්පිතව මිනිසුන් කතා කරාවිද ?
අපේ රටේ විද්යා ව, සේයා ව දැනටත් අපේ සමාජයට අමතක වී ඇති බව නොඅනුමානය.ඔවුන් දෙදෙනාම මරණයෙන් වන්දි ගෙවු නිසාම ඔවුන් දෙදෙනා පිළිබඳව ඔවුන් වෙනුවෙන් ශෝකී,සංවේදී දෑ ලියවුනත් කතාබහ වුනත් ඒ සියල්ල දවස් කීපයකට පමණි.සමාජයේ මෙන්ම නීතියේ ද දශමයක වෙනසක් හෝ සිදුවී නැත.විද්යා සේයා පමණක් නොව, අසහනකාරී පිරිමින් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ ගැහැනු ජීවිත ගණන් කල නොහැක.ඒ කිසිම මරණයකින් මේ සමාජය කිසිදු පාඩමක් අදටත් ඉගෙනගෙන නැත.විද්යා සේයා දූශණයට ලක් වී අද ජීවතුන් අතර සිටියා නම් පහුවදාම සියදිවි නසාගෙන ය.මන්ද කායිකව දූශනයට ලක් වූ ඔවුන් දෙදෙනාම මේ සමාජයෙන් වාචිකව ද දූශනයට ලක් වන නිසා ය.ඔවුන් දෙදෙනා මරණයෙන් අවසන් වූ නිසා ඔවුන් වෙනුවෙන් සංවේදී වූයේ, HIV ආසාදිත මවකගේ දියණියව පාසලට ඇතුල් කලහොත් තමාගේ දරුවාව පාසලට නොඑවන බව පැවසූ මේ සමාජයම ය.
ගැහැණියකගේ ජීවිතය මරණයකින් කෙළවර වුවහොත් ඇය විඳි අනේක දුක්පීඩා සමාජගත වී ඇය පිළිබඳ දැනගත්තා වුවත් ඇය වෙනුවෙන් සංවේදී වුවත්, ඔබ මා ගෙවන මේ මොහොතේ දීත් කායිකව වාචිකව හිංසනයට ලක් වෙන ගැහැණුන් පිළිබඳ දන්නේ කවුද ?ඔවුන්ගේ වේදනාවට පීඩාවට වගකියන්නේ කවුද..
බස් රථයේ ඇයට හේත්තු වන පිරිමින්,ගැහැණියකගේ කකුලක්,ඇය අදින බ්ලවුසයේ බොත්තමක් ලිහිල් වුන විවරයක් දුටු පමණ තම අංගජාතය සෘජු වන පිරිමින් සිටින තාක් ගැහැණිය මේ සමාජයේ සුරක්ෂිත ද...?
නැත.දෙදහස් පන්සිය වසරක ඉතිහාසය ගැන නලළෙ තබා කතා කලත් මේ සමාජයේ බොහෝ පිරිමින් තවමත් ඩෙනිමට යටින් කොළඅතු ඇඳගත් වනචාරීන් ය.නොයෙකුත් කොණ්ඩා රැවුල් විලාසිතා වලට යටින් ඇත්තේ කැලෑ ගතිය...
කොටින්ම මේ "හොඳ ලෙස හැදීමට-හොඳ සිත් ඕනෑ හැමවිට,නරක සිත් ඇති විට-නරකමයි සිදුවන්නේ අපහට" යැයි සිරිත් මල්දමේ ඉගෙන ගත් පරම්පරාව ය...
මේ සමාජයේ තම තමා ස්වයං විනයක් ඇති නොකරගන්නා තාක්කල් ඉදිරියටත් තව බොහෝ විද්යලා සේය ලා අසීෆලා වේදනාවෙන් මිරිකුණු මරණවලින් වන්දි ගෙවනු ඇත.



No comments:

Post a Comment

අංශුමාත්‍ර

කවුළුවෙන් එපිට පිට නොපෙනන තරම් වැස්ස ය.ඒ ශබ්දය,අඳුර එකතු වී කැඩී බිඳී ගිය මා එකතුකර අලවමින් සිටිනවා වැනි හැඟීමකි.ඇතැම් විට ඒ මා වර්ෂාව ට ...