Thursday, July 19, 2018

මී පැටව් හතරදෙනා


මොකද්ද මේ අපි වැටුන ලෝකෙ කියල උනුත් නොදන්න...අපිත් නොදන්න!


මේක මගේ පොඩිකාලෙ අත්දැකීමක්..
මට මතක තරමින් වයස අවුරුදු අටක් වගේ ඇති.ලොකු තේරුමක් තියෙන කාලයක් නෙමෙයි.අතින් මගෙ මතක විදිහට මට අපේ ගෙදර මුල්ලකින් හම්බවුනා චූටි මී පැටව් හතරක්.ඇත්තටම ඇඟේ බූල් ගහක්වත් නෑ.ඇස් ඇරලත් නෑ.ඇඟ රෝස පාටයි.ඉතින් මට අප්පිරියාවක් දනුනෙ නෑ.මං කරපු දේ එයාලව අතට අරන් අතගාපු එක.ඊට පස්සෙ ඒ අසරණයො හතර දෙනාට සිද්ධ උනා මං ලඟ තිබ්බ පොඩි වීදුරුවකට වෙලා ඉන්න.ඔය ඉතින් මං උදේට බොන කිරි එකෙන්ම එයාලටත් පොවන්න.ඉස්කෝලෙ ඇරිල ආව ගමන් දුවල ඇවිත් එයාලව බලන්න..අපරාදෙ කියන්න බෑ මං නිසා ඒ අසරණයො හතර දෙනාට සිද්ධ වුනා බේසමක නාන්නත්.මං දන්න එකම දේ මම අප්‍රසන්න කියල වචනයක් වත් නොදැන ඒ මී පැටව් හතර දෙනාට ආදරේ කරපු බව..
ඉතින් අපේ අම්ම ඕක දැකල පරල වෙලා මට නියෝග කලා එයාලව හිටපු තැනටම දාන්න.මං ඉතින් අඬල කරල එයාලව යැව්ව ගුලකින් ඇතුලට.එයාලත් බඩගාගෙන ගියා.මට මතක විදිහට මට අතඇරෙන දේ ගැන දැනුන පළවෙනි වේදනාව ඒක.
ඉතින් මං කියන්න හැදුවෙ අපි අවුරුදු ගණන් ගෙවල ලොකු වයසකට එද්දි අපිව හතරැස් රාමුවකට කොටු වෙනව.එක්කො කොටු කරනව.ගෙදර වටපිටාවෙන් ගෙදරින් එපිට සමාජයෙන්.මම දන්න තරමින් මම ඇර මී පැටවුන්ව හිරිකිතයක් නැතුව අතට ගන්න මම දන්න කවුරුත් නෑ.මී පැටව් තියා මීයෙක් දැක්කත් මූණ අකුල ගන්නව මිසක්.ඒත් මමත් අද වෙද්දි ආයෙ ඒ සිදුවීමට මූණ දුන්නොත් පොඩ්ඩක් හෙලවෙයි බයට.
අපි නොතේරෙන වයසෙදි අපේ හිත් විවෘතයි.වැටවල් බැඳල කොටු කරන් නෑ.ඉතින් මිනිස්සුන්ට මී පැටව් අප්‍රසන්න යි කියල මම දන්නෙ නෑ.ඉතින් මම උන්ට ආදරේ කලා.ලොකු වෙද්දි මිනිස්සු අපේ ඔලුවට දානව අපෝ උන් ජරාවනෙ කියල.ඒක මිනිස්සු හදාගත්ත දෙයක්.මේ සිදුවීමම වෙනස් විදිහවල් වලින් මේ සමාජෙ වෙනව.
මං උදාහරණයක් කියන්නම්..
අල්ලපු ගෙදර ඉන්නෙ දෙමළ ළමය මුස්ලිම් ළමය කියල වර්ග නොකර අපි උන් එක්ක සෙල්ලම් කරනව.බත් එක එකතු වෙලා කනව.ගස්වල නැගල අඹ කඩන් කනව.එක්ම අඹේ පලාගෙන බෙදාගෙන කනව.අපි දන්න එකම දේ ලෙංගතුකම..සහෝදරකම..ඉතින් අපි වැඩිහිටියො වෙද්දි මේ සමාජයම අපේ ඒ ලෙංගතුකම හතරැස් කරනව.මූ දෙමළ..මූ මුස්ලිම් කියල රාමු වලට කොටු කරනව..ඉතින් පොඩි කාලෙ වැට කඩොලු නැති අපේ හිත් ඒ දෙමළ මුස්ලිම් යාලුව මැද්දෙන් ඉබේම බැඳෙනව..ඉතින් මේක හරිද ?
පොඩ්ඩක් නැවතිලා හිතල බලන්න.ඔයාලත් පොඩි කාලෙ ආදරේ කල දේවල් වලට ලොකු වෙද්දි "එපා"කියන බෝතලේට දාගෙන තියෙනවද කියල..විනාඩියක් හිතන්න ඇයි එහෙම වුනේ කවුද ඒක කලේ කියල..
හරියට මං ආදරේ කරපු මී පැටව් වගේ.එයාල දැනන් හිටියෙ නෑ එයාල මේ කාගෙ අතේද ඉන්නෙ කියල.එයාල හපා කන්න ඕනෙ කාවද කියල.එයාල මං ලඟම ලොකු උනා නම් මටත් ආදරේ කරයි.වෙනම හැදුන නම් මාව හපාකයි.ගෙදර ඇඳුමෙ ඉඳන් ඔක්කොම කීතු වෙන්න කාල දායි...අනෙක් අතට අපි වගේ..අපි දන්නෙ නෑ අපි ඉපදුණ පොළොව මොන වගේද කියල.අපි ආදරේ කරන දේවල් අපි පොඩි කාලෙ වර්ග කරගෙන නෑ.ලැයිමෙ මනුස්සය දෙමළ මනුස්සය ,බේබද්ද,කුඩුකාරය කියල නොදැන අපි මිනිස්සුත් එක්ක හිනාවුනා.ලෙංගතු උනා.අපි ලොකු වෙද්දි එයාලව වෙන වෙන බෝතල් වලට දාල ඈත් කලා.ඒක අප්‍රසන්න කියන මූඩියෙන් වහල දැම්ම.
අපිට තේරෙන කාලයක් ආවම අපිට නොදැනී මේ උන කොටුවීම නොතේරෙන්න තරම් අපි අසංවේදී වෙනව..ඇත්තටම ඒක හරිම අධමයි.
මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕනි ස්වාධීනව හිතන්න...අම්ම තාත්තගෙ සහ සමාජයේ සිතුවිළි වල පරපෝෂිතයෙක් නොවී...!
මං හරිද..?
ඒ තමා මගේ මී පැටව් හතරදෙනා මට කියල දීල ගිය පාඩම...උන්ට මං අදටත් ආදරෙයි..!


                                                         

No comments:

Post a Comment

අංශුමාත්‍ර

කවුළුවෙන් එපිට පිට නොපෙනන තරම් වැස්ස ය.ඒ ශබ්දය,අඳුර එකතු වී කැඩී බිඳී ගිය මා එකතුකර අලවමින් සිටිනවා වැනි හැඟීමකි.ඇතැම් විට ඒ මා වර්ෂාව ට ...